Tuesday, October 8, 2019

අනාගත ජනපතිට ලියන ලිපිපෙල අංක 1. (කුණු ප්‍රශ්නය විසඳීම )

අනාගත ජනපතිට ලියන ලිපි පෙල 
අංක 1.

කුණු ප්‍රශ්නය විසඳීමට සැළසුම
=========================

ගරු ජනාධිපති තුමනි, 

ශ්‍රි ලංකාවේ කුණු ප්‍රශ්නය ජාතික මට්ට්මේ ව්‍යසනයක් බවට පත්ව ඇති බැවින් හා ඒ පිළිබඳව මෙතෙක් ඉදිරිපත් කර ඇති , මෙතෙක් ක්‍රියාත්මක කර ඇති ක්‍රමවේදයන් අසාර්ථක වී ඇති බැවින් වඩා පලදායී හා තිරසාර විසඳුම් පහත පරිදි ඉදිරිපත් කිරීමට කැමැත්තෙමි. මෙම විසඳුම් වර්තමාන තත්ත්වය අනුව භාවිතාවේ යෙදවිය හැකි පරිදි සීරු මාරු කර ගෙන ප්‍රායෝගික ලෙස යොදා ගැනීමට මූලික දළ අදහසක් සේ යොදා ගත හැකි දැයි සළකා බලනු මැනවි. 

1. කුණු ප්‍රශ්නය ජාතික මට්ටමේ ගැටලුවක් ලෙස සළකා බලා ඒ වෙනුවෙන් ජාතික මට්ටමේ සැලැසුම් නිර්මාණය කළ යුතුය. වර්තමානය වන විට පවතින ප්‍රාදේශීයව බෙදි ගිය ප්‍රාදේශීය නායකයන් අතින් පාලනය වන එකිනෙකින් වෙනස් වූ මේ ක්‍රමය තව දුරටත් මෙම ගැටලුව විසඳීමට ප්‍රමාණවත් නොවේ. එබැවින් මෙම සමස්ථ ක්‍රියාවලිය පොදු ජාතික සැලැස්මක් යටතේ  ක්‍රියාත්මක වන රටටම එක යාන්ත්‍රණයක් සේ බලපවත්වන එකක් විය යුතුය. 

එබැවින් කසළ කළමනාකරණය ජාතික වැඩසටහනක් බවට පත් කර "පරිසර අමාත්‍යාංශය" යටතට පමුණුවන්න. එමගින්, රටටම පොදු කසළ කළමනාකරණ වැඩසටහන නියාමනය කර පාලනය කරන්න. 

2. කසළ කළමනාකරණය කිරීම පිණිස රට වෙනම ප්‍රධාන  කලාප කීපයකට වෙන් කරන්න. ඒ කලාපයට වෙන වෙනම කසළ අංගන නිර්මාණය කරන්න. පුද්ගලික අංශයේ වෙනමම ආයතන පිහිටුවා එම අංගන වෙත කුණු රැගෙන ඒම සඳහා ක්‍රමවේදයන් හදන්න. 

3. දැනට පවතින ප්‍රාදේශීය සභා ඔස්සේ කෙරෙන කුණු කළමනාකරණ ක්‍රමවේදයන් අසාර්ථකයි. වාහන, සේවකයන් , ඒවා නඩත්තුව ,පරිපාලනය ආදී ගැටලු රැසක් ඒවායේ වෙයි. එබැවින් මෙම ක්‍රියාවලිය පුද්ගලික අංශයට පවරන්න. ඔවුනට ගෙවීම, ඒවා නියාමනය කිරීම ආදියට පමණක් රජයේ සේවකයන් යොද වන්න. 

4. කුණු වෙනුවෙන් කුණු නිශ්පාදනය කරන්නන්ගෙන් මිලක් අය කරන්න. එය ක්‍රම දෙකකට කල හැකිය. 

a) සෘජුව බිලක් ගෙවීම. 
විදුලි බලය, වතුර බිල ආදිය වගේම කුණු වෙනුවෙන් ද ගෙවීමක් මාස් පතා මිනිස්සුන්ගෙන් අය කර ගත හැකිය. එය මසකට රුපියල් 200-300/= ක් පමණ වෙන කුඩා මිලක් නිසා එය ගෙවා ගැනීමට මිනිස්සුන්ට බැරි වෙන එකක් නැත. 

b) වක්‍ර බදු අය කිරීම
අනෙක් ක්‍රමය නම් කුණු නිශ්පාදනය වන තැනින්ම ඒ මිල අය කර ගැනීමයි. උදාහරණයක් ලෙස බිස්කට් පැකට් එකක් මිලදී ගැනීමේදී එහි කවරය අනිවාර්යයෙන්ම කුණුලෙස පරිසරයට එකතු කරන බැවින් එම කුණු පැකට් එක කළමනාකරණය කිරීම සඳහා අදාල මුදලක් බදු ලෙස එම මිළදී ගැනීම කරන විටදීම අය කර ගත හැකිය. සියළුම පාරිභෝගික භාණ්ඩ වෙත මෙම සුළු මුදල එක් කිරීමෙන්, කුණු නිශ්පාදනය කිරීමට අදාල පුද්ගලයාගෙන්ම එම මුදල ලබා ගැනීමට හැකියාව ලැබෙයි. 

මේ ක්‍රම දෙකෙන් අප රටට මුලින්ම වක්‍ර බදු ක්‍රමය ගැලපෙන බව මාගේ විශ්වාසයයි. කුණු ඉවත් කිරීමට කළමනාකරණය කිරීමට  වැය වන මුදල මින් උපයා ගත හැකි විය යුතුය. මින් එම සේවකයන්ට හොඳ වැටුවක් ලබා දීමට ද හැකි වීමට ඔබ වග බලා ගන්න. 

5. කුණු කළමනාකරණය කර ගැනීමට හොඳම ක්‍රමය ඒවා වෙන් කර ගැනීම බව ඔබේ ජනතාවට ඒත්තු ගන් වන්න, කියා දෙන්න, ඔවුන් හුරු කරවන්න. කුණු වෙන් කිරීම පිණිස ඔවුන් යොමු කරවන නීතී රෙගුලාසි සම්පාදනය කර ගන්න. ප්ලාස්ටික් , බෝතල්, ලෝහ, දිරායන කුණු ආදී ලෙස වැඩසටහනට ගැලපෙන විද්‍යාත්මක ආකාරයකට ඒවා වෙන් කර ගන්න. ඒ අනුව ඒවා කළමනාකරණය කර ගැනීම පහසු වෙනු ඇත. 

ප්ලාස්ටික් දිරා නොයන එක පාරිසරික ගැටලුවක් වී ඇත්තේ අපි දිරන දේ නොදිරන වැඩේටත් , නොදිරන දේ දිරන වැඩේටත් යොදා ගැනීම නිසාය. ප්ලාස්ටික් දිරා නොයෑමේ ගුණය භාවිතා කොට එසේ ඉවත ලන ප්ලාස්ටික් භාවිතා කොට විවිධ නිශ්පාදන සඳහා යොමු වන, විය හැකි වටාපිටාවක් හදන්න. ඒ සඳහා පර්යේෂණ, අත් හදබැලීම් කරන පුද්ගලයන් දිරි මත් කර දිරා නොයන ප්ලාස්ටික් වලින් දිරා නොයන වැඩක් ගන්න යොදවා ගන්න. 

දිරා යා යුතු දේ දිරායායුතු වැඩ වෙනුවෙන් භාවිතා කරන්න වෙළෙඳපොළ යොමු කරවන්න. එය කළ හැක්කේ රජයකට පමණකි. ප්ලාස්ටික් වෙළෙඳපොළට එක් වන ක්‍රම සොයා බලා ඒවා සීමා කරන්න ක්‍රම සම්පාදනය කරන්න. ෂොපින් බෑග් එකේ සිට බේසම බාල්දිය දක්වා මේ ක්‍රියාවලිය දික් කර ගත හැකිය. 

6. දිරා යන කුණු කසල අංගන වල කළක් තියෙන්නට හරින්න. ඒවා සතුන් කෑමට ගන්නා බැරි මහජන   සෞඛ්‍යයට හානි නොවන , මැස්සන් බෝ නොවන  මට්ටම පනින විටම  කෝම්පොස්ට් ආදිය නිපැයීමට යෙදිය හැකිය. එසේත් නැතිනම් ලොරි පිටින් රැගෙන ගොස් පුරන් වූ කුඹුරු, නිස්සාර වූ හේන්, වගා බිම්, පොල් වතු, රබර්, තේ වතු වලට හලන්න. තවද එළිකල කැලෑ, මුඩු බිම්, ගස් වැවිය යුතු බිම් , ඇති කල යුතු කැලෑ ආදියට ඒවා රැගෙන ගොස් හලන්න. කෘෂි බිම් වලට පෝර ද, වන වගාවද ඇඟට පතට නොදැනීම ඉබේම සිදු වනු ඇත. 

7. කුණු නිශ්පාදන කරන ස්ථානය අනුව ද  වර්ග කර ගන්න... 
පොදු ස්ථාන, ව්‍යාපාරික ස්ථාන හා නිවාස  ලෙස කොටස් තුනකට ඒවා වෙන් කර ගන්න. ව්‍යාපාරික ස්ථාන වලට ඔබට වෙනමම අය කිරීමක් සිදු කළ හැකි ය. 
පොදු ස්ථාන පිරිසිදු කිරීම ද කොන්ත්‍රාත් ක්‍රමයට පුද්ගලික අංශයට පවරන්න. ඒවා නියාමනය කිරීමට පමණක් රජයේ සේවකයන් යොමු කරවන්න. 

ඉතුරු කාරණා දෙක කුණු වලට පමණක් සීමා නොවේ. රටේ පොදු වැඩ පිළිවෙලට මේවා අත්‍යවශ්‍ය වේ. 

8. මෙම ක්‍රියාවලිය පාලනය කිරීමට ඉතා ක්‍රමත් රාජ්‍ය පරිපාලන සේවයක් තිබිය යුතුය. වගකීමෙන්  සේවය කරන, ප්‍රතිඵලයට වග කියන, හොරා නොකන රාජ්‍ය පරිපාලනයක් ඇති කරන්න. එම කාර්‍යක්ෂම පරිපාලන ක්‍රමය මගීන් මෙම ක්‍රියාවලිය නීත්‍යානුකූලව පරිපාලන කිරීමට නීතී රෙගුලාසි සම්පාදනය කරන්න. 
a) දක්ෂයන් රජයේ සේවයට බඳවා ගන්නා
b) හොරා නොකා අවංකව රාජකාරි කරන
c) ගැලපෙන, නිවැරැදි තීන්දු තීරණ ගන්න හැකි රාජ්‍ය සේවයක් නිර්මාණය කරන්න. 

9. කෙතරම් ඉල්ලා සිටිය ද මිනිසුන් සමාජ සාධාරණත්වයෙන් කටයුතු නොකරයි. එබැවින් මෙම කුණු සම්බන්ධ ද විනය මහජනයා තුල ඇති කිරීමට නීතී පද්ධතියක් තිබිය යුතුය. එම නව නීතී සම්පාදනය කල යුතු වගේම ඒවා ක්‍රියාත්මක වන වටාපිටාවක් රට තුල නිර්මාණය විය යුතුය. එය මූලික රාජ්‍ය පාලනයේ වටිනා අංගයක් ලෙස රට හදනවා නම් ඕන වෙයි. එබැවින්, එම කාර්‍යක්ෂම අධිකරණ පොලිස් සේවා ඔබට ඇති කර ගත යුතු වෙයි. සොරා කෑම්, කොමිස් ගැසීම්, දේශපාලන බලපෑම් ආදී විවිධ අක්‍රමිකතා මුලිනුපුටා දමන ක්‍රමයක් ඔබ අනුගමනය කරයි නම්, ඔබට මෙම අධිකරණයේ කාර්‍යක්ෂමතාවය හොඳින් භාවිතා කල හැකිය. 

එබැවින්, සාරාංශයක් ලෙස ගත් කල හොඳ නායකත්වය , හොඳ රාජ්‍ය පරිපාලනය හා කාර්‍යක්ෂම , ස්වාධීන නීතීඅධිකරණ ක්‍රියාවලිය රට හදන මුල් ගල් තුන වැනිය... ඒ ලිප්ගල් තුන උඩ කුණු ප්‍රශ්නය නැමති හොද්ද තියා උයා ගැනීමට ඔබ දක්ෂයෙකු වන්න. ඒ හොද්ද වගේම අනෙක් හොදි ද මෙලෙසම උයා ගත හැකි බව අවබෝධ කර ගන්න. 

මෙම සමස්ථ ක්‍රියාවලිය ආරම්භ කිරීමට ඔබට කාලයක් මුදලක් අවශ්‍ය වනු ඇත. ඔබ ණයක් ගන්න, මෙහි ආයෝජනය කරන්න. ප්‍රතිලාභ අවුරුදු 2-3 ක් යනකොට ලැබෙන්නට පටන් ගනීවී... මෙම ක්‍රමය හොඳින් සමාජ ගත වූ විට එය හොඳින් සාර්ථකව ක්‍රියාත්මක වූ විට ලංකාව ලස්සන, තිරසාර රටක් වේවි. ඊළඟ ඡන්දයෙන් ඔබට දිනන්නට එය හොඳ සාධකයක් වේවි. ඔබට ජය!!! රටට  ජය!!! 

පැතුම්     

( පැතුම් කර්නර් මහතා විසින් මුහුණුපොතෙහි පළ කළ හරවත් ලිපියකි. )
https://www.facebook.com/pathumkerner

No comments:

Post a Comment