Saturday, November 1, 2014

මුදල් ඔය කියන තරම් වටිනව ද?

‘‘ආ............මෙන්න’’

මා බස් රථයට ගොඩ වූ ස්ථානයේ සිට කොටුව තෙක් ගමන් ගාස්තුව වශයෙන් රුපියල් 20 ක් ගත් කොන්දොස්තර මහතා, ඉතුරු මුදල් වශයෙන් රුපියල් 20 කොළයක් සහ රුපියල් 10 කොළයක් මා අත තැබීය.

මුදල් පරිහරණයේදී මාගේ එක්තරා පුරුද්දක් ඇත. එනම් මුදලේ වටිනාකමේ අනුපිළිවෙළට පසුම්බිය තුළ මුදල් තැන්පත් කර ගැනීමයි. ඒ අනුව රුපියල් 20 කොළය යට තිබූ රුපියල් 10 කොළය උඩට ගෙන, මම පසුම්බියට බහාළීමට සූදානම් වුණෙමි. පුරුද්දේ වාසනා මහිමය !

"මේක ඉරිලනෙ.... මේක නැතුව මට වෙන 10ක් ගන්න පුලුවන් ද?''

තුනෙන් පංගුවකට වඩා ඉරී තිබූ රුපියල් 10 කොළය යළි කොන්දොස්තර මහතාට දී, ඒ වෙනුවට වෙනත් කොළයක් මම ඉල්ලා ගතිමි.

මීට පෙර අවස්ථා කිහිපයකදී ද ඉරුණු මුදල් නෝට්ටු බස් රථය තුළදී මාහට ලැබී ඇතිමුත්, එය කොන්දොස්තරවරයාගේ දැනුවත්කම පිට සිදුවන්නක් ද නැතහොත් අත්වැරදීමෙන් සිදු වන්නක් දැයි එකහෙළා පැවසීමට මට නොහැක. කෙසේ වෙතත් නිසැක ලෙසම එම ඉරුණු නෝට්ටු කිසියම් මගියෙකුගෙන්ම ඔවුන් අතට පත්වන්නට ඇත. 

සැබවින්ම අපේ රටේ ඇතැමෙක් මුදල් නෝට්ටු හරිහැටි පරිහරණය කිරීමට නොදන්නා බව මුදල් නෝට්ටු කිහිපයක් අතට ගත් විට මනාව පැහැදිළි වේ. කාසි මෙන්ම මුදල් නෝට්ටු ද හුවමාරුව ආත්මය කරගත් ඒවාය. එමනිසා කාසිවල මෙන්ම මුදල් නෝට්ටුවල ද අයිතිය නිරන්තරව මාරු වේ. එනම් තමා සන්තකයේ ඇති විට මුදලේ අයිතිය තමාට වුව ද, තවත් කෙනකු අතට එය පත් වූ විට, එය එම තැනැත්තාගේ අයිතියට නතු වේ. නමුත් තම අයිතියට නතු වූ පමණින් මුදල් නෝට්ටු කිළිටි කිරීමට, නැවීමට, පොඩි කිරීමට සහ විකෘති කිරීමට නෛතික වශයෙන් අපට කිසිදු අයිතියක් නැත.

මුදල් නෝට්ටු විකෘති කිරීම ශ‍්‍රී ලංකා මුදල් නීති පනතේ 58 වන වගන්තියට අනුව දඳුවම් ලැබිය හැකි වරදකි.   

පනතේ ඒ බව මෙසේ සඳහන් කර තිබේ. 

Chapter III, Section 58 of Monetary Law Act No. 58 of 1949

ශ‍්‍රී ලංකාවේ මුදල් සම්බන්ධයෙන් පූර්ණ අධිකාරි බලය ඇත්තේ ශ‍්‍රී ලංකා මහ බැංකුවටය. එබැවින් මුදල් නෝට්ටුවල යම් වෙනසක් සිදු කරන්නේ නම්, එය කිරීමේ පූර්ණ අයිතිය සහ බලය ඇත්තේ ශ‍්‍රී ලංකා මහ බැංකුවට විනා අන් කිසිවෙකුට හෝ නොවේ. මුදල් නෝට්ටු විකෘති කිරීම සම්බන්ධයෙන් නෛතික පැත්ත කෙසේ වුව ද, මුදල් නෝට්ටු විකෘති කිරීම කොතරම් සදචාරසම්පන්න දැයි මඳක් සිතා බැලීම වටී.

එසේම රුපියල් 05 කාසි යොදා ගෙන සකසන ලද මාල ඇතැම් විට බස්රථවලදී හෝ මගතොටේදි අලෙවි කරනු ඔබ දැක තිබෙන්නට පුලුවන. නමුත් පෙරකී පනතේ 58A වගන්තියට අනුව එලෙස කාසි උණු කිරීම සහ විකෘති කිරීම නීතියට පටහැනි වන්නා සේම දඬුවම් ලැබිය හැකි වරදක් ද වේ. 

ඔබට සම්පූර්ණ පනත කියවීමට අවශ්‍ය නම් පහත ලින්කුව යොදා ගන්න.


කිසියම් ගනුදෙනුවකදී යම් අයෙකු ඔබට ලබා දෙන්නේ අපිරිසිදු නෝට්ටු (හෝ විකල නෝට්ටු) නම් එම නෝට්ටු ප‍්‍රතික්‍ෂේප කර, පිරිසිදු නෝට්ටු ඉල්ලා සිටීමේ පූර්ණ අයිතිය ඔබ සතුව ඇත.

ඇතැමුන් මුදල් නෝට්ටු පරිහරණයේදී කරන්නා වූ ප්‍රධාන වැරදි කිහිපයක් මෙසේ පෙන්වා දිය හැකිය.

1. මුදල් නෝට්ටු මත විවිධ දේ ලිවීම (නිදසුන් ලෙස තම නම, පෙම්වතාගේ හෝ පෙම්තියගේ නම, දුරකතන අංක, කවි, සින්දු ආදිය)

2. මුදල් නෝට්ටු කැපීම සහ සීරීම

3. මුදල් නෝට්ටු නැවීම, පොඩි කිරීම, ගුළි කිරීම පමණක් නොව අපිරිසිදු අතින් ඇල්ලීම



සැබවින්ම හිස් කොළයක් ගෙන එහි තම නම මතු නොව තම හත්මුතු පරම්පරාවේම නම් ලැයිස්තුව ලීවාට කිසිදු ප‍්‍රශ්නයක් නැත. නමුත් එය අතින් අතට යන, අතින් අතට යා යුතු මුදල් නෝට්ටු මත කිරීම නම් අශෝභනය. පිළිකුල්ය.

තම පෙම්වතාට හෝ පෙම්වතියට ආදරේ නම් එය සනිටුහන් කළ යුත්තේ ඇයගේ හෝ ඔහුගේ හදවතේ මිස, අතින් අතට යන මුදල් නෝට්ටු මත නම් නොවන බව විකෘති මානසික ආශාවන් ඇතිවුන් කවදා නම් තේරුම් ගනීවි ද?

පොතක පිටු මත පෑනේ තීන්ත සිඳෙන තුරු කවි, ගී, පදවැල් දහසක් වුව ලීවාට කිසිදු ගැටලුවක් නැත. නමුත් එය මුදල් නෝට්ටු මත කිරීම නම් අශෝභනය. පිළිකුල්ය.

ඇතැමෙක් වෙළඳසැලේදී හෝ බස් රථයේදී ඉතුරු මුදල් ලද පසු, එය ගුලිකර තම සාක්කුවේ ඔබා ගනිති. සාමාන්‍යයෙන් අපි අනවශ්‍ය කොළ කැබලි නම් ගුලිකර කුණු කූඩයට දමන්නෙමු. එසේ කරන්නේ ද කුණුකූඩයේ ඉඩ ඉතිරි කරගනු පිණිසය. නමුත් වටිනාකමක් ඇති මුදල් නෝට්ටු එලෙස ගුලිකර දමා ගැනීමෙන් පෙන්වන්නේ ඔවුන්ගේ ජීවිතයේ ඇති අපිළිවෙළ සහ අපිරිසිදුකම විනා අන් කිසිවක් හෝ නොවේ.

ඇතැම් අයගේ මුදල් පසුම්බිය මීතොටමුල්ලේ කුණු කන්ද මෙනි. (ප‍්‍රසිද්ධ බ්ලූමැන්ඩල් කුණු කන්ද දැන් නිකන්ම පස්කන්දක් බැවින් එය නිදසුන් කර නොගත්තෙමි). කුණු ගොඩ අපිළිවෙළ යැයි කිසිවෙකුත් දොස් කියන්නේ නැත. මන්ද කූණු ගොඬේ ස්වභාවයම අපිළිවෙළ වන නිසාය. නමුත් මුදල් පසුම්බිය යනු තමන්ට නිතර අවශ්‍ය වන වටිනා දේ බහාළන තැනයි. එබැවින් තම පසුම්බිය තුළ මුදල් නෝට්ටු තැන්පත් කර ගැනීමේදී, වටිනාකමේ අනුපිළිවෙළින් (වටිනාකමින් ඉහළ නෝට්ටු යටටත්, වටිනාකමින් අඩු නෝට්ටු උඩටත් එන පරිදි) අසුරා ගැනීමෙන් මුදල් නෝට්ටු සුරැකෙනවා පමණක් නොව මුදල් ඉවතට ගැනීමේදී තමන්ට ද පහසුවක් ගෙන දෙයි.

පසුම්බියෙහි මුදල් තැන්පත් කළ යුතු පිළිවෙළ මෙන්න.




විකල වූ හෝ අපිරිසිදු මුදල් නෝට්ටු වෙනුවට අලුත් නෝට්ටු මුද්‍රණය කිරීමට ශ‍්‍රී ලංකා මහ බැංකුවට වසරකට විශාල පිරිවැයක් දැරීමට සිදු වන බව ඔබ දන්නවා ද?

2012 වසරේදී පමණක් රුපියල් මිලියන 159.6ක වටිනාකමින් යුත් භාවිතයට නුසුදුසු මුදල් නෝට්ටු ප‍්‍රමාණයක් මහ බැංකුව විසින් විනාශ කර ඇති අතර එම විනාශ කළ නෝට්ටු වෙනුවට අලූතින් නෝට්ටු නිකුත් කිරීමට මහ බැංකුව රුපියල් මිලියන 855ක මුදලක් වැය කර ඇත. (දත්ත මූලාශ‍්‍රය:-ශ්‍යාම් නුවන් ගනේවත්ත විසින් 'පිරිසිදු මුදල් ප‍්‍රතිපත්තියක අවශ්‍යතාව' මැයෙන් 2014.03.23 දිනැති දිවයින පුවත්පතේ පළ කළ ආර්ථික ලිපිය)

මේ වැය වන්නේ මේ රටේ සුවහසක් මිනිසුන්ගේම මුදල්ය. ග‍්‍රාමීය ප‍්‍රදේශයකට සංවර්ධන ව්‍යාපෘතියක් කිරීමට තිබෙන මුදල්ය. අඩුපාඩු සහිත පාසලකට පහසුකම් දීමට තිබෙන මුදල්ය. කොටින්ම කියනවා නම් මේ රටේ මිනිසුන් වෙනුවෙන් කුමන හෝ වැඩදායක දෙයක් කිරීමට තිබෙන මුදල්ය.

පිරිසිදු මුදල් නෝට්ටු භාවිතය මගින් අපට ලැබෙන මහඟු ප‍්‍රතිලාභ කිහිපයක් මෙසේය.

1. මුදල් නෝට්ටුවල ආයු කාලය දිගු වෙයි.

2. නව මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම සඳහා වැය වන වියදම අඩු වෙයි.

3. විදේශ මුදල් දේශීයව මාරු කිරීමේදී අපේ මුදල් නෝට්ටුවල පවතින හොඳ තත්වය නිසා විදේශිකයන් අප රට පිළිබඳ යහපත් පළමු හැගීමක් ඇති කර ගනියි.

4. ශ‍්‍රී ලාංකිකයන් වශයෙන් අපට තම රටේ පුරවැසියන් ගැන ආඩම්බරයක් ඇති වෙයි.

4. පිරිසිදු නෝට්ටු තේරීම, බන්ඩල් කිරීම, ගණන් කිරීම පහසුය.

5. පිරිසිදු නෝට්ටු භාවිතය රොගකාරක විෂබීජ පැතිර යාමේ අවදානම ද අඩු කරයි.

මහබැංකුව විසින් වසර ගණනාවක් මුළුල්ලේ ජනතාව අතර පිරිසිදු මුදල් නෝට්ටු සුලභ කිරීමට සුවිශේෂී වැඩසටහන් දියත් කරමින් සිටී. 

තවමත් සංසරණයේ තිබෙන රුපියල් 500, 1000, 2000 පැරණි නෝට්ටු සම්පූර්ණයෙන් දමා ගැනීමට ඔබේ මුදල් පසුම්බිය ප්‍රමාණවත් නොවන බව ඔබ අත්දැකීමෙන් දනී. එසේ දමා ගත් විට නෝට්ටුවෙන් කොටසක් පසුම්බියෙන් පිටතට මතු වී එම කොටස හොඳහැටි නැවී පොඩි වන බව ද ඔබ හොඳාකාරව දනී. නමුත් මෑතකදී ප්‍රමාණයෙන් කුඩා මුදල් නෝට්ටු නිකුත් කිරීමට මහබැංකුව සාධනීය පියවර ගත්තේ ද රට තුළ පිරිසිදු මුදල් නෝට්ටු සුලභ කිරීමටය.

ඊට අමතරව රට පුරා පිහිටි වාණිජ බැංකු හරහා තමන් අත තිබෙන භාවිතයට නුසුදුසු හෝ විකල නෝට්ටු (Unfit or Mutilated Notes) අලුත් නෝට්ටුවලට මාරු කර ගැනීමේ අවස්ථාව ද සළසා තිබෙන අතර කිසිදු බැංකුවකට එය ප්‍රතික්ෂේප කළ නොහැක. 

එලෙස නෝට්ටු මාරු කිරීමේදී මෙයත් මතක තබා ගත යුතුයි. 

එනම් ඔබ රැගෙන යන මුදල් නෝට්ටුව සත්‍ය එකක් වුනත්, පලුදු වෙලා නම් අවම වශයෙන් මුදල් නෝට්ටුවෙන් තුන් කාලක් (3/4) සහ අවම වශයෙන් එක් නෝට්ටු අංකයක්වත් තිබිය යුතු වීමයි. විකල නෝට්ටුව සඳහා සම්පූර්ණ මුදල ප‍්‍රතිපූරණය කිරීමට මහ බැංකුව කටයුතු කරන්නේ එලෙස තිබේ නම් පමණයි. එසේම නොට්ටු අංක හඳුනාගත හැකි අයුරින් නොට්ටුවේ බාගයක් පමණක් තිබේ නම්, එවිට ඔබට ලැබෙන්නේ එම නෝට්ටුවේ වටිනාකමින් බාගයක් පමණයි.

එසේම මේ 2014 වසරේ සිට රුපියල් 10 නෝට්ටු යළි මුද්‍රණය නොකිරීමටත් ඒ වෙනුවට කාසි පමණක් නිකුත් කිරීමටත් මහ බැංකුව තීරණය කර ඇත්තේ ද, රුපියල් 10 මුදල් නෝට්ටු විකෘති වීමට පිළියමක් වශයෙනුයි. නමුත් ඉහළ වටිනාකම් සහිත නෝට්ටු සඳහා එම පිළියම යෙදිය නොහැක. 

එසේ නම් රට තුළ පිරිසිදු මුදල් නෝට්ටු සුලභ කිරීමට නම් මහජනතාව වශයෙන් අප කළ යුත්තේ මුදල් පරිහරණය කිරීමේදී වඩා වගකීම්සම්පන්න වීමයි. වඩා විනයගරුක වීමයි. ඒ හැර වෙන විකල්පයක් නම් නැත.

  මුදලට වටිනාකමක් දෙන්න- ඔබට වටිනාකමක් ගන්න
Give value to money-Add value to you

No comments:

Post a Comment