Friday, November 7, 2014

අඩු රැකවරණය - වැඩි රැකවරණය - අඩු වැඩි නැති නිසි රැකවරණය

දෙමව්පියන්ට මෙලොව සිටිනා වටිනාම වස්තුව තම දරුවන් බවට කිසිදු විවාදයක් නැත. විවාහපත් යුවළකට අලුතින් දරුවෙකු පිළිසිඳ ගැනීම යනු මහමෙරක් ලැබුනා හා සමානය. එය ඒ තරමට පවුලක පරිපූර්ණත්වයට බලපායි. කොටින්ම, නිවසක් (House) ගෙදරක් (Home) බවට පත් කරන්නේ දරුවන්ය.



කිසිදු දෙයක් තනිව කරකියා ගත නොහැකි අසරණයකු ලෙස මෙලොව එළිය දකිනා දරුවාට, තනිව දෙපයින් නැගී සිටින  තෙක් නිරන්තර රැකවරණය ලබා දීමට දෙමව්පියන් දරනා වෙහෙස කොතරම්දැයි ඔබට අමුතුවෙන් කිවයුතු නැත. 

මේ ලිපියෙන් ඔබේ අවධානයට යොමු කරන්නේ මව්කුසින් බිහි වූ දා පටන් විවිධ සංවර්ධන අවධි පසුකරමින් යන දරුවාට ස්වකීය ළමාකාලය තුළ දෙමව්පියන් වශයෙන් අප ලබාදෙන්නා වූ  ආදර-රැකවරණයේ නිසි-අනිසිබව ගැනය. 

රුවන්ට අප බෙහෙවින් ආදරේ බව ඇත්තය. එහෙත් අප කුඩා කල සිටම දරුවන්ට  ඕනෑවට වඩා ආදරේ කරන්නේ නම් එය දරුවෙකුට කරන්නා වූ මහත් අසාධාරණයක් බව ඔබ දන්නේ ද?

දරුවන්ට ඕනෑවට වඩා නීතිරීති දැමීමෙන් අප වැළකිය යුතුය. විශේෂයෙන්ම මෙම තත්වය බෙහෙවින් දැකිය හැක්කේ තනි දරුවෙකු හෝ දෙදෙනෙකු සිටින කුඩා පවුල් ඒකක තුළය. ඒ ඇතැම් විට දෙමව්පියන්ගේ පූර්ණ අවධානය ඔවුන් වෙත යොමු වෙන නිසා විය යුතුය. එවැනි පවුල්වල දෙමව්පියන් දරුවන් කෙරෙහි තිබෙන වැඩි ආදරේ නිසාම දරුවාට නිදහසේ දුවපැන ඇවිදිමින් නිදහස්  ජීවිතයක් ගත කිරීමට ඇති අවස්ථා අහිමි කරයි. අසල්වැසි ළමා ළපටින් සමග සෙල්ලම් කිරීමට ඇති අවස්ථා අහිමි කරයි. යම් යම් දේ අත්හදා බැලීම් ඔස්සේ ඉගෙන ගැනීමට ඇති අවස්ථා අහිමි කරයි. 

සැබවින්ම ඔබට ඔබේ දරුවා කිසිදු සිරීමක්වත් නැතිව එලෙස හදා වඩා ගත හැක. නමුත් වැඩි පරිස්සමට එලෙස හැදීම තුළින් දරුවා මානසික වශයෙන් දුර්වලයෙකු, නැතිනම් අන් ළමයින්ට සාපෙක්ෂව වටපිටාවේ ඇති දේ උකහා නොගත් අයෙකු බවට පත් විය හැකිය. එවැනි දරුවන් තුළ ආත්ම විශ්වාසය ගොඩනැගෙන අවස්ථා සීමිත වේ. එවැනි දරුවන් අභියෝගවලට මුහුණ දීමට බියක් දක්වයි. සෑම විටම  දෙමව්පිය සරණම පතයි. අභියෝගයක් ආ විට දෙමව්පියන්ගේ පිටුපස හැංගීමට බලයි. තමන්ම සිතා යමක් කිරීමට තිබෙන හැකියාව ඔවුන්ට අඩුය. නිර්මාණශීලි හැකියාවන් ඉස්මතු නොවෙයි. හුදු පොත පතේ දැනුම පමණක් ඇත්තෙකු බවට දරුවා පත් වෙයි. මේ තත්වය දරුවෙකුගේ ඉදිරි ජීවිතයට නම් කොහෙත්ම හිතකර වන්නේ නැත.  

එමනිසා දරුවන්ට ළමාකාලය නිදහසේ විඳින්නට ඉඩදෙන්න. නගරයක ජීවත් වන්නේ නම් මසකට වරක් හෝ තුරුලතා පිරි උද්‍යානයකට රැගෙන ගොස්  පරිසරය විඳින්නට ළමයාට අවස්ථාව සළසා දෙන්න. 

දරුවාට සීතල, උණුසුම දැනෙන්නට ඉඩ හරින්න. බාහිර පරිසරයට නිරාවරණය වන්නට ඉඩ හරින්න. දරුවාගේ ප්‍රතිශක්තිය සහ දරාගැනීමේ හැකියාවන් වර්ධනය වන්නේ එවිටය. 

දරුවාට බඩගින්න නැති වෙලාවට පවා පිටුපසින් ගොස් පැරැත්ත කර කර බලෙන් ආහාර කැවීමෙන් වළකින්න. ඔවුන්ට බඩගින්න දැනෙන්නට ඉඩ හරින්න. 'සුවැති බණ්ඩියක්' ඔවුන්ට ලැබෙනු ඇතිවා පමණක් නොව  ඔවුන් ආහාරයේ ඇති වටිනාකම තේරුම් ගනු ඇත. 

කුඩා කල සිට අනවශ්‍ය ලෙස රැකවරණය ලද දරුවන් ඇඟපත මෝරා නිසි කලවයසට එළඹුන ද හැසිරෙනු ඇත්තේ නොදරුවන් මෙනි. ඔවුන් 'ගෙදරටත් බබා සමාජයටත් බබා' වර්ගයේ අයෙකු බවට පත් වනු ඇත.

හැකි සෑම විටම දරුවාට ස්වයං අධ්‍යයනයන්ට අවස්ථාව සළසා දෙන්න. දරුවාට සෙල්ලම් කිරීම මගින්, වටපිටාව ගවේෂණය කිරීම මගින් සහ අත්හදාබැලීම (trial & error)  මගින් දේවල් ඉගෙනීමට අවස්ථාව ලබා දෙන්න. අනවශ්‍ය ලෙස ඔවුන්ට උපදෙස් දීමට නොයන්න. එ යමක් දැක විමසා බලා තීන්දු තීරණ ගැනීමට දරුවාට බාධාවකි. 

එසේම සෙල්ලම් භාණ්ඩ ගෙනවිත් දීමේදී ද, දෙවරක් සිතන්න. කිසිවිටකත් සෙල්ලම් තුවක්කු වැනි ප්‍රචණ්ඩත්වය හුරුකරවන සුළු සෙල්ලම් භාණ්ඩ වර්ග ගෙනවිත් දීමෙන් වළකින්න. දරුවන්ගේ බුද්ධිය සහ නිර්මාණශීලිත්වය ඔප්නංවන සුළු ප්‍රහේළිකා (Puzzles) වර්ගයේ සෙල්ලම් භාණ්ඩ, කුඩා සංගීත භාණ්ඩ, ගෙවල් කට්ටල, වාහන වැනි දෑ ගෙනවිත් දෙන්න. 

දරුවාට ගැළපෙන- නොගැළපෙන භේදයක් නොබලා කුඩා කලසිටම ඔවුන් ඉල්ලන සෑම දේම ගෙනවිත් දෙමින්, කොටින්ම 'ඕනෑවට වඩා හුරුතල් කරමින්'  දරුවන් හැදීම තුළින් ''සෑම දෙයම තමන්ට හිමි විය යුතුය'' යන පටු මානසිකත්වයක් (Entitlement Mentality) දරුවන් නිර්මාණය කරගනී. එම මානසිකත්වය තුළින් ආත්මාර්ථකාමීව කටයුතු කිරීමට දරුවන් පෙළඹෙන අතර තම දෙමව්පියන්ගේ උත්සාහයන් ගැන කිසිදු වැටහීමක් හෝ අගය කිරීමක් ද ඔවුන් තුළ ඇති නොවේ. 

එලෙස අනවශ්‍ය ලෙස මව්පිය ආදර රැකවරණය ලද දරුවන් ලොකු මහත් වී, ඉගෙන කියාගෙන යම් ආයතනයක ඉහළ තනතුරකට පත් වුවහොත්, ඔවුන් අන් සේවකයන් ගැන හැගීමක් නැති, සමාජශීලී නැති අයෙකු බවට පත් වෙයි. එපණකුදු නොව තමා පානය කළ තේ කෝප්පය කිසිවෙකු හෝ හෝදනු ඇතැයි බලාපොරොත්තුවෙන් හෝ එය තමා සේදිය යුතු නැතැයි යන පටු මානසිකත්වයෙන් හෝ එය නොසෝදා, ආහාර ගන්නා පොදු  ස්ථානය තුළම තිබෙන්නට හරියි. තමා ආහාර ගැනීමේදී මේසය මතට වැටෙන ආහාර කැබලි කිසිවෙකු හෝ ඉවත් කරනු ඇතැයි බලාපොරොත්තුවෙන් හෝ එසේ අස් කිරීම තම තරාතිරමට තරම් නොවේ යැයි සිතා හෝ මේසය මතම තිබෙන්නට හරියි. ස්වයංසේවා නොවන හෝටලයක නම් එසේ කෙරුවාට කම් නැත. මේ අන් කිසිවක් නොව දෙමව්පියන්ගේ වැරදිය. මේ සරළ උදාහරණ කිහිපයක් පමණි.

එසේ නම් ඔබේ වගකීම කුමක් ද ?

ඔබේ වත්පොහොසත්කම අනුව
ඔබ ඔබේ දරුවාට සුවිසල් නිවසක, මිල අධික ආහාරපාන, පියානෝ වැනි සංගීත භාණ්ඩ ගෙනවිත් දෙමින්, පුළුල් තිර රූපවාහිනියක දසුන් නැරඹීමට පහසුකම් ද සළසා දෙමින් සුවපහසු ජීවිතයක් ගත කරන්නට අවස්ථාව සලසා දෙනවා විය හැකිය. 

නමුත් ඔබ ගෙවත්තේ තණකොල කපන විට ඔවුන්ට ද එය කරන අයුරු බලා සිටින්නට අවස්ථාව දෙන්න. ගෙදරදොර අස්පස් කරන විට දරුවාට ද ඊට සම්බන්ධ වීමට ඉඩදෙන්න. දරුවාගෙන් ලබාගත හැකි උදව් ඔවුන්ගෙන් ලබා ගන්න. ගෙදරදොර 'වැඩ'' කරන අයුරු දෑසින් දැක ගැනීමට අවස්ථාව ලබා දෙන්න. තම පිඟාන කෝප්පය ඔසවා ගත නොහැකි නම් පමණක් දරුවා ආහාර ගත් පසු, ඔබ ඔවුන්ගේ පිඟාන සේදුවාට කම් නැත. නමුත් එසේ නොවේ නම් තමන්ගේ පිඟාන කෝප්පය සෝදා ගැනීමට දරුවන් පුරුදු කරවන්න.  

ඔබේ දරුවාට එසේ කිරීමට ඉඩ දිය යුත්තේ ඔබේ කාර්යබහුලත්වය නිසා හෝ ගෙදරදොර කටයුතු කිරීමට සේවකයකු නොසිටිනා නිසා හෝ නොවේ. ඔබ ඔවුන්ට නිවැරදි ලෙස ආදරය කළ යුතු නිසාය

ඔබ ගෙදර දොරේ යම් වැඩක් කරන්නේ නම්, ඔබේ දරුවාට ද කුමන හෝ පුංචි උදව්වක් කිරීමට අවස්ථාව දෙන්න. එය ඇතැම් විට යම් උපකරණයක් ගෙන්වා ගැනීම විය හැකිය. 

එසේම අසල්වැසි දරුවන් සමග සෙල්ලම් කිරීමට ඔවුන්ට අවස්ථාව දෙන්න. එමගින් සාමූහිකත්ව ගුණාංග කුඩාකල සිටම ඔවුන් ඉගෙන ගනු ඇත. අනෙකාගේ උදව්වේ වටිනාකම තේරුම් ගනු ඇත. අනෙකා අගය කිරීමට ඉගෙන ගනු ඇත. 

මේ සියල්ලේ අවසාන ප‍්‍රතිඵලය දරුවා නැණගුණ පිරි, තම වටපිටාව ගැන සවිඥානක, කායික මානසික නිරෝගීතාවෙන් යුතු පුද්ගලයෙකු බවට පත් වීමය. මේ සියල්ල සමග හැදෙන දරුවා ජීවිතයේ සැඳෑ සමයේදී ඔබට ද හොඳින් සළකනු ඇත.  

DON'T DO UNDER-PARENTING - දරුවන්ට අඩුවෙන් ද ආදරය නොකරන්න.

DON'T DO OVER-PARENTING -    ඕනෑවට වඩා ද ආදරය නොකරන්න.

JUST DO PARENTING -  අවශ්‍ය පමණට නිවැරදි ලෙස පමණක් ආදරය කරන්න.

No comments:

Post a Comment