Tuesday, August 25, 2015

ජවිපෙ හඬ නිහඬ නොවනු පිණිස....

ඡන්ද ප්‍රතිඵල ගැන වැල්වටාරම් නොසෑහෙන්න ගෙවුනු දින කිහිපයේම අසන්නට-කියවන්නට ලැබුණත්, ආසන 15ක්වත් ගනු ඇතැයි අපේක්ෂා කළ ජවිපෙ ආසන හයකට සීමා වීම පිළිබඳව නම් තවදුරටත් කතා කළ යුතු යැයි සිතුණි. 

මේ ප්‍රතිඵලයෙන් පෙනෙන්නේ තවමත් ජවිපෙට රටේ පාලන බලය හෝ සැළකිය යුතු බලයක් ලබා දීමට පොදු මහජනයා සූදානම් නැති බව ද? 

මා විශ්වාස කරන හැටියට 80 දශකයේ අගබාගයෙන් පසුව බිහි වූ පරපුර හැරුණු කොට, ඊට එහා ජීවන අත්දැකීම් ඇති ජනතාව තුළ  සමස්තයක් වශයෙන් ජවිපෙ පිළිබඳව ඇත්තේ පැහැදිළි-ප්‍රසාදජනක ආකල්පයක් නොවේ. ඊට බෙහෙවින්ම බලපෑවේ 71 සහ 89 කැරළිය. හේතුඵලවාදීව කරුණු කාරණා විශ්ලේෂණය කළ හැකි- විග්‍රහ කළ හැකි- ප්‍රබුද්ධ සංවාද ගොඩ නැගිය හැකි- පොදු මහජනයාගේ චින්තනයේ සීමා මායිම් පුළුල් කළ හැකි- මසුරන් කටවල් ඇති වාදීභසිංහලා වූවාට, තවමත් ජවිපෙට පාලන බලය දෙන්නට පොදු ජනයා නොපෙළඹෙන්නේ ඒ යුගයේ තමන් ලද-දුටු ජීවිත අත්දැකීම් ඔස්සේ ජවිපෙ පිළිබඳව ගොඩ නැගුණු ඍණ ආකල්ප නිසාය. දන්නා යකාට වඩා නොදන්නා යක්කු කැන්දන් ඒමට ජනතාව කොහොමත් බයය. 

71-89 අවි අතට ගෙන බලය ගන්නට කරන ලද එම ප්‍රයත්නයන් නොවන්නට, ප්‍රජාතන්ත්‍රවාදී ලෙස දේශපාලනයේ අඛණ්ඩව යෙදුණි නම් අද වන විට රටේ පාලන බලය මහජන ඡන්දයෙන්ම ලබා ගන්නට තරම් ජවිපෙ ඉතා ශක්තිමත් සහ ජනප්‍රිය පක්ෂයක් වන්නට ඉඩ තිබුණි. 

ජවිපෙ පිළිබඳව පොදු මහජනයාගේ ආකල්පය එසේ වුව ද, පසුගිය මාස හය හතක කාලය තුළ සමාජ මාධ්‍යජාල ඇසුරු කරන තරුණ ප්‍රජාව අතර ජවිපෙ පිළිබඳව ඉමහත් ජනප්‍රියත්වයක් ගොඩ නැගෙමින් තිබුණි. එම තත්වය බෙහෙවින්ම දක්නට ලැබුණේ ජවිපෙ නායකත්ව මාරුවත් සමගය. විශේෂයෙන්ම අනුර කුමාරගේ දේශපාලන සන්නිවේදන භාවිතාවේ දක්ෂතාව මේ සඳහා බෙහෙවින්ම බලපෑවේය. 

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී ජවිපෙට අලුතින් එකතු වන්නට තිබුණේ පසුගිය ජනපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතාට වැටුණු පාවෙන ඡන්දය. එහෙත්, අපේක්ෂා කළ තරම් ජවිපෙට ඡන්ද වැටී නොතිබුණි. ඊට ද හේතුවක් තිබේ. හිටපු ජනපති කැන්දනවා ද , නැතිනම් එජාපයට දී එය වළක්වනවා ද යන්න පාවෙන ඡන්ද බොහොමයක් තීරණය කර ඇත. අනෙක් කාරණය නම්, මෙලෙස අලුතින් ආකර්ෂණය වූවන් ජවිපෙ දේශපාලන දර්ශනය පිළිබඳ දැනුවත්භාවයකින් යුත් පිරිසක් නොව අනුර කුමාර, සමන්ත විද්‍යාරත්න වැන්නවුන්ගේ කතාවන්ට ආකර්ෂණය වූවන් වීමයි. 

අනුර කුමාරගේ ආකර්ෂණීය කතාවලට මුහුණුපොතේ දහස් ගණනින් ලයික් වැටෙද්දී, දහස් ගණනින් ෂෙයා වෙද්දි සැබවින්ම ජවිපෙට ලොකු රැල්ලක් ඇති බව පෙනෙන්නට තිබුණි. එහෙත් එය බිම් මට්ටම දක්වා දිවුණු ප්‍රචාරණයක් නොවුණු අතර, ලයික් -ෂෙයා කළවුන් බොහොමයක් ද ඡන්ද පොළට ගොස් අලියාට හෝ බුලත් කොළයට කතිරය ගසා ඇති බව පෙනේ.  

එහෙත්, පොතේගුරුවාදී- රටේ සමාජ වටපිටාව තේරුම් නොගත් අතීත නායකයන්ට වඩා අනුර කුමාරගේ වත්මන් නායකත්වය හොඳය. ආකර්ෂණශීලීය. මහානායක හිමියන් අපවත් වූ පසු ඊට සහභාගි වූ අනුර කුමාර දිසානායක බෞද්ධාගමට අනුව එහිමියන්ට නිවන් ප්‍රාර්ථනා කරනා බව කීවේ එනිසාය. නිවනවත්-කර්මයවත් ජවිපෙ දේශපාලන දර්ශනයට පෑහෙන ඒවා නොවේ. එසේම, භෞතිකවාදය මත පිහිටි මාක්ස්වාදය විඥානවාදයන්හි - ප්‍රාර්ථනාවන්හි ඇති නිසරුබව අවධාරණය කරයි. සැබවින්ම ප්‍රාර්ථනාවන්ගෙන් ලැබෙන සාධනීය ඵලයක් ද නැත. එහෙත්, පක්ෂයට අධ්‍යාපනය- ජනතාවට දේශපාලනය යන සිද්ධාන්තයේ කටයුතු කරමින් වත්මන් නායකයා ජනතාව පක්ෂය වෙත ඇද ගන්නට උත්සාහ ගනිමින් සිටී. ජවිපෙ තවදුරටත් සන්නද්ධ විප්ලවයක් කෙරෙහි විශ්වාසය නොතබන බව ද ස්ථිරසාරව ප්‍රකාශ කර ඇත. 

ජවිපෙ මෑතක් වන තුරුම කළේ හුදෙක් වර්ජනවලට-අරගලවලට-උද්ඝෝෂණවලට දේශපාලනය සීමා කිරීමයි. එම අරගල-වර්ජන-උද්ඝෝෂණ සම්බන්ධයෙන් වුව ද අප දුටුවේ ඒවා තවත් මිනිසුන් කොට්ඨාශයකගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් සිදු කරනා ආකාරයයි. නිදසුන් ලෙස දහසකුත් වැඩ රාජකාරි සඳහා මහමගට බසින මිනිසුන්ගේ නිදහස් ගමනාගමනයට ඇති අයිතිය උල්ලංඝනය කරමින් - පාර වසා ගෙන කරනා උද්ඝෝෂණ නිසා ඒ මොහොතේ රස්තියාදු වන කිසිවෙක් එහි සංවිධායකයන් පිළිබඳව සහ ඔවුන්ගේ සටන්පාඨ පිළිබඳව ප්‍රසාදයක් ඇති කරගන්නේ නැත. එබැවින්, ප්‍රශ්න-ගැටලු බවටත්, ගැටලු අර්බුද බවටත් නිර්මාණය නොකර ප්‍රශ්න තිබේ නම්, වඩා යුක්තිසහගත ලෙස ඒ වෙනුවෙන් හඬ නැගීමට-පෙනී සිටීමට ද ජවිපෙ කටයුතු කළ යුතුය.  

මෙම ඡන්ද ප්‍රතිඵලයෙන් අධෛර්යමත් නොවී, කිසිවෙකුටත් මුක්කු නොගසා පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත්  ජනතාවගේ සැබෑ හඬ බලය බවට ජවිපෙ පත් විය යුතුය.  ජවිපෙ සිටගෙන සිටින වත්මන් ආස්ථානය ඒ සඳහා ප්‍රබල පිටුබලයක් සපයනු ඇත. මෙවර සිතූ තරම් ප්‍රතිඵල නොමැති වුවත්, නොබෝ මසකින් එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී ජවිපෙට වැඩි බලයක් ලැබෙනු ඇත යන්න අපගේ විශ්වාසයයි. 

No comments:

Post a Comment