Wednesday, August 12, 2015

රටේ අනෙකුත් ජනවර්ගයන්ට නොමැති, දෙමළ ජනතාවට පමණක් ඇති ප්‍රශ්නය කුමක් ද?

1948 ලත් නිදහසින් පසු, ගත වූ දශක ගණනාව තුළ විවිධ ආණ්ඩු විසින් සහ විවිධ පුද්ගල කණ්ඩායම් විසින් ගන්නා ලද අදූරදර්ශී ක්‍රියාමාර්ග නිසා, නිදසුන් ලෙස 1956 බණ්ඩාරනායක මහතා විසින් සිංහල පමණක් රාජ්‍ය භාෂාව  කිරීම, පටු අරමුණු රැගත් ඇතැම් දෙමළ විද්වතුන් සහ දේශපාලනඥයන් විසින් නිජබිම් සංකල්පය පෙරටු කොට බෙදුම්වාදය පෝෂණය කිරීම, 1983 දී හමුදා සෙබළුන් 13ක් කොටි සංවිධානය විසින් ඝාතනය කිරීමත් සමග ඇති වූ කෝපය අහිංසක දෙමළ මිනිසුන් මතින් පිට කිරීම ආදී නොයෙකුත් ක්‍රියාමාර්ග නිසා දෙමළ ජනයාට ඇතැයි කියූ ජනවාර්ගික ප්‍රශ්නය ජාත්‍යන්තරීකරණය වූ සන්නද්ධ අරගලයක් දක්වා වර්ධනය වූ අතර, දශක තුනකට ආසන්න කාලයක් මුළුල්ලේ පැවති එම සන්නද්ධ අරගලයේ නිමාව සනිටුහන් වූයේ 2009 වසරේදීය. 

නමුත්, යුදමය වශයෙන් වැළලී ගිය කොටි සංවිධානයේ දේශපාලන දර්ශනයට යළි පණදෙමින්, මෙවර මහ මැතිවරණයේදී උතුරු පළාත නියෝජනය කරනා ඇතැම් ද්‍රවිඩ දේශපාලනඥයන් දෙමළ ජනතාවට ස්වයං නිර්ණය අයිතිය ඕනෑය- ෆෙඩරල් ඕනෑය-වෙනම රාජ්‍යයක් ඕනෑය කියමින් උතුරේ ඡන්දදායකයන්ගේ ඉහමොළ දූෂ්‍ය කරමින්- දෙමළ ජනතාව තුළ ශ්‍රී ලංකා රජය කෙරෙහි වැඩෙමින් පවත්නා බැඳීම බිඳුවා ලීමේ පටු දේශපාලනයක නියැළෙමින්, ප්‍රභාකරන් යළි වළෙන් නැගිටුවා ලීමට උත්සාහ ගනිමින් සිටින බවක් පෙනේ. 

ඇතැම් දෙමළ දේශපාලනඥයන්ට සැබවින්ම තිබෙන්නේ දෙමළ ජනතාව පිළිබඳ හද පත්ළෙන් උපන් දයාර්ද්‍ර ප්‍රේමයක් ද නැතිනම් තමන්ට කියා ලොව කිසිදු රටක් නැතැය යන මනෝභාවයේ හිඳිමින් ක්‍රමිකව වෙනම රාජ්‍යයක් බිහි කර ගැනීමේ අවශ්‍යතාවක් ද යන්න අප මඳක් විමසා බැලිය යුතුය.   

දෙමළ ජනයාට නොව අවම වශයෙන්, සිංහල ජනයාට හෝ තමන්ටම කියා වෙනම රටක් තිබේ ද? පිළිතුර නැත යන්නය. ශ්‍රී ලංකාවේ බහුතරය සිංහල බෞද්ධ බව සැබෑ නමුත්, මෙය සිංහල බෞද්ධ රටක් යැයි කීම සදාචාරාත්මකවත්, දේශපාලනිකවත්, ව්‍යවස්ථානුකූලවත් නිවැරදි නොවේ. එසේ ප්‍රවර්ධනය කළා කියා සිංහලයන්ට ලැබෙන දෙයක් ද නැත. අනෙක් කරුණ නම්, මේ රටේ පදිංචි සැවොම පාහේ විවිධ කාලවලදී සංක්‍රමණිකයන් ලෙස පැමිණියවුන් වන අතර, ව්‍යවස්ථාවෙන්ම පිළිගන්නා පරිදි අද දිනයේ ලියාපදිංචියෙන් රටේ පුරවැසියකු වන තැනැත්තාටත්, පරම්පරාවෙන් පුරවැසියකු වූ තැනැත්තාටත් හිමිවන්නේ සියලු දෙනාට හිමි පුරවැසි අයිතිවාසිකම්මය. එම නිසා, මේ රටේ වාර්ගික සහ ආගමික වශයෙන් පවතින බහුවිධත්වය අප සැවොම පිළිගත යුතුය. අප සැබෑ ලෙසම ශ්‍රී ලංකාවට ආදරය කරන්නෝ නම්, මෙය සිංහල බෞද්ධ රටක්ය යන පටු අදහසෙහි එල්බ නොසිටිය යුතු අතර, අනෙකුත් ජනවර්ගයන් ද මේ රට කැබලිකර ගැනීමේ මානසිකත්වයෙන් මිදිය යුතුය. එය ප්‍රවර්ධනය කිරීමම රටේ සංහිඳියාවට සහ යහපැවැත්මට හානිකරය. 

ලොව ජීවි භාෂා 6909 ක් ඇතැයි පැවසේ. (මූලාශ්‍රය) ඒ සෑම භාෂාවකටම අනන්‍ය ජනවර්ගයක් ඇතැයි උපකල්පනය කළහොත්, ලොව ජනවර්ගයන් ද එපමණක්ම (හෝ ඒ ආසන්න ප්‍රමාණයක්) තිබිය යුතුය. ඒ අනුව, ලොව ඇති ජනවර්ගයන් ප්‍රමාණයට සරිළන ලෙස රටවල් තිබේ ද? නැත. (2015 වසර වන විට ලොව පිළිගත් රටවල් තිබෙන්නේ 200කට ආසන්න ප්‍රමාණයකි.) 

වාර්ගික ව්‍යාප්තිය අනුව, වෙන වෙනම පාලනයන් බිහි කරන්නේ නම්, වාර්ගික මිශ්‍රණයක් සහිත ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාත සම්බන්ධයෙන් ගන්නා තීරණය කුමක් ද? 

වැදි ජනතාව සම්බන්ධයෙන් ගන්නා තීරණය කුමක් ද? 

නැගෙනහිර ජනතාව සම්බන්ධයෙන් සහ කඳුරට දෙමළ ජනතාව සම්බන්ධයෙන් ගන්නා තීරණය කුමක් ද?

පයබරවායට පිටිකර බෙහෙත් බඳින්නා සේ, ප්‍රශ්නය ඇත්තේ එකතැනකය. එහෙත් දේශපාලනඥයන් බෙහෙත් බඳින්නට යන්නේ තව තැනකය. 

සිංහල වේවා මුස්ලිම් වේවා දෙමළ වේවා වැදි ජනතාව වේවා මේ රටේ සියලු ජනයාට තිබෙන්නේ එකම වූ ජීවන අරගලයක් වන අතර, නැති ප්‍රශ්න ඇති කර ඒ ඔස්සේ දේශපාලන වාසි ගැනීමට සහ බලය වැඩි කර ගැනීමට පෙරේතකමක්-කෑදරකමක් තිබෙන්නේ දේශපාලනඥයන්ටය.  

උතුර ද දකුණ ද කියා හෝ නැගෙනහිර ද බස්නාහිර ද කියා හෝ කිසිදු භේදයක් තොරව විදුලි බල මණ්ඩලය, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය, මාර්ග සංවර්ධන අධිකාරිය ආදී ආයතන ජනතාවගේ මූලික යටිතල පහසුකම් සැපිරීමට කටයුතු කරන්නේ නම්, කිසිදු පළාත් භේදයකින් හෝ වාර්ගික භේදයකින් තොරව ප්‍රාථමික අධ්‍යාපනයේ සිට ප්‍රථම උපාධිය දක්වා රජයේ මැදිහත් වීමෙන් අධ්‍යාපනය ලබා දේ නම්, පරිපාලන අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා ග්‍රාම නිලධාරී කාර්යාල- ප්‍රාදේශීය ලේකම් කාර්යාල- දිස්ත්‍රීක් ලේකම් කාර්යාල ආදිය  පිහිටුවා තිබේ නම්, කොළඹට නොපැමිණ තමන්ගේ පළාත් මට්ටමින් හෝ දිස්ත්‍රීක් මට්ටමින් පිහිටුවා ඇති රජයේ කාර්යාල මගින් තම කටයුතු සිදු කර ගත හැකි නම්, ව්‍යවස්ථාවෙන්ම ප්‍රතිපාදන සළසා දී ඇති පරිදි තමන්ගේ භාෂාවෙන් වැඩකටයුතු කර ගැනීමට හැකි නම්, නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය හරහා රටේ අනෙකුත් පළාත්වල වැසියන්ට සේම උතුරේ ජීවත්වන වැසියන්ට ද තම නියෝජිතයන් පාර්ලිමේන්තුවට සහ අදාළ පළාත් පාලන ආයතනවලට පත් කර එවීමේ සමාන අවස්ථා තිබේ නම්, වෙනම කෑල්ලක් කඩා ගැනීමට හෝ වෙනම පාලන ඒකක පිහිටු වීමට තරම් අනෙකුත් ජනවර්ගයන්ට නොමැති දෙමළ ජනතාවට පමණක් ඇති ප්‍රශ්නය කුමක් ද? 

තිස්වසරක සාපලත් යුද්ධයෙහි ප්‍රතිඵල ලෙස තම ආදරණීය දූ පුතුන්-සහෝදරයන්- ඥාතීන් අහිමි වීම, වටිනා තම නිවාස-දේපළ විනාශ වීම, විඳුනු ලබන ආර්ථික දුෂ්කරතා, සම්පත් බෙදී යාමේ විෂමතා, යටිතල පහසුකම් සංවර්ධනයේ පවත්නා අඩුපාඩු ආදිය හුදු දෙමළ ජනතාවට පමණක් විශේෂිත ප්‍රශ්න නොවන අතර, ඒවා කිසිදු පළාත් භේදයකින් තොරව ඍජුව හෝ වක්‍රව යුද්ධයෙහි කටුක ඵල විඳි සහ විඳිමින් සිටින සියලු ශ්‍රී ලාංකිකයන් මුහුණ දෙමින් සිටින ප්‍රශ්න වේ. 

දෙමළ ජනතාවට තිබෙන ප්‍රශ්නය උතුරේ හමුදා කඳවුරු පැවතීම ද? 

හමුදා කඳවුරු ඇත්තේ උතුරේ පමණක් නම් සැබවින්ම උතුරේ ජනතාව පමණක් නොව රටේ සියලු දෙනාම ඊට එරෙහිව හඬ නැගිය යුතුය. නමුත් හමුදා කඳවුරු සෑම පළාතකම ඇත. එහෙත්, උතුරේ ජනජීවිතය සහ පරිපාලනය සාමාන්‍ය අතට හැරෙන විට, දැන් තිබෙන තරමින් හමුදා කඳවුරු අවශ්‍ය නොවන්නට පුලුවන. ඒ අනුව, යථාකාලයේදී සම්පූර්ණයෙන් හමුදා කඳවුරු ඉවත් නොකළ යුතු වුවත්, ජනතාවගේ ඉඩම් අත්පත් කරගෙන පිහිටුවා ඇති ඉඩම් යළි ජනතාවට ලබා දෙමින් හමුදා කඳවුරු-බැරැක්ක ප්‍රමාණය අඩු කළ යුතුමය. එය මේ වන විටත්, සිදු කරමින් පවතින්නකි. නිදසුනක් ලෙස යුද්ධය පැවති සමයේ සහ අවසන් වූ පසුවත් කොළඹ පාරවල් වසා-බැරැක්ක-මුරකපොලු තිබූ ප්‍රමාණයෙන් 80%ක්වත් දැන් නැත. එවැනි නිදහස් වටපිටාවක් උතුරේ ද ඇතිවිය යුතුමය. 

උතුරේ ජනතාවට කෙසේ වෙතත්, මේ රටේම පුරවැසියන් වන මුස්ලිම්, සිංහල ජනතාවට නම් ප්‍රශ්නයක් තිබේ. මුස්ලිම් ජනතාවට සහ සිංහල ජනතාවට උතුරේ පදිංචි විය නොහැක. ව්‍යාපාර කළ නොහැක. එසේ යම් ලෙසකින් හෝ කිරීමට ගියහොත්, එය සිංහලීකරණයක් හෝ මුස්ලිම්කරණයක් හෝ යැයි චෝදනා නගති. එහෙත් වැල්ලවත්තෙන් හෝ රටේ වෙනත් ඕනෑම තැනකින් සහෝදර දෙමළ වැසියන්ට පදිංචි වීමට-ව්‍යාපාර කිරීමට හැකි නම්, එය ව්‍යවස්ථානුකූලව රටේ සියලු පුරවැසියන්ට හිමි අයිතියක් නම්, රටේ අනෙකුත් වාර්ගිකයන්ට උතුරේ පදිංචි වීමට -ව්‍යාපාර කිරීමට තහංචි පැනවන්නේ කෙසේ ද? පුදුමය නම්, මේ සම්බන්ධයෙන් ඇතැම් කයිවාරුකාර සමාජ ක්‍රියාකාරිකයන් හඬක් නොනැගීමයි. 

ඉතිහාසයෙහි සිදු කළ වැරදිවලට අප රට දෙමළ-සිංහල-මුස්ලිම් යන භේදයකින් තොරව ජීවිත හා දේපළ වලින් නොසෑහෙන්න වන්දි ගෙවා ඇති බැවින්, තවදුරටත් එසේ නොවනු පිණිස කළ යුතු වන්නේ එක් එක් ජනවර්ග අනුව රට කෑලිවලට කැඩීම නොව- පරිපාලනය තවදුරටත් විමධ්‍යගත කරමින්, ජනතා ප්‍රශ්න පහසුවෙන් සහ කාර්යක්ෂමව විසඳීමට අවස්ථාව සැළසීමයි. 

ඒ අතරම, සැමට නිදහසේ පුරවැසි අයිතිවාසිකම් භුක්ති විඳිය හැකි- ආගම රාජ්‍ය ව්‍යුහයෙන් නිදහස් වූ- නීතිය සැමට සාධාරණව ක්‍රියාත්මක වන, ආර්ථික සමෘද්ධිය සපිරි රටක් බිහි කළ යුතුය. පාසල් අධ්‍යපනයේ සිට ශ්‍රී ලාංකීය ජාතියක් ලෙස සිතන්නට පුරුදු කරන ජාතිවාදය, ආගම්වාදය, බෙදුම්වාදය වැපිරීම අපරාධයක් සේ සළකා දඬුවම් ලබා දෙන රටක් නිර්මාණය කළ යුතුය. 

එමෙන්ම, තේසවලමේ නීතිය වේවා කන්ද උඩරට නීතිය වේවා විවිධ ප්‍රදේශවලට හෝ විවිධ ආගමිකයන්ට විශේෂිත වූ මොන යම් හෝ බලාත්මක නීති තිබේ නම්, ඒ සියල්ල අහෝසි කොට කිසිදු වාර්ගික-ආගමික-ප්‍රාදේශීය විශේෂීකරණයකින් තොර වූ පොදු නීතියක් ස්ථාපිත රටක් අප ඇති කළ යුතුය.  

අවසාන වශයෙන් මෙයද කිව යුතුය. උතුරේ ජනතාව කෙරෙහි සැබෑ ආදරයක් උතුරේ දේශපාලනඥයන්ට සහ විදේශගත දෙමළ ප්‍රජාවට (ඩයස්පෝරා) තිබේ නම්, පසුගිය තිස්වසර තුළ අරමුදල් රැස් කර කොටි සංවිධානයට ලබා දුන්නා සේ, දැන් කළ යුත්තේ වෙනම රාජ්‍ය මානසිකත්වයෙන් මිදී- දැනටමත් ඕනෑවටත් වඩා දුක් විඳ ඇති උතුරේ ජනතාවගේ ජනජීවිතය ඉහළ නැංවීමට රජය සමග සහයෝගයෙන් කටයුතු කර අවශ්‍ය මූල්‍ය සම්පත් දායකත්වය සැපයීමයි.  

සිංගප්පූරුවේ දියුණුවේ පුරෝගාමියා වූ ලී ක්වාන් යූ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ද අදහස් දක්වා ඇති, අපට වැරදුණු තැන් ද දැක්වෙන වැදගත් ලිපියක් කියවූයෙමි. පහත ලින්ක් එක ඔස්සේ එය ද කියවන්න.


No comments:

Post a Comment